මාලිමාව රජයේ සේවකයන්ට කොකා පෙන්වීම දැන්වත් නතර කළ යුතුයි - කෙෂාල් ජයසිංහ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ උදය ආර් සෙනවිරත්න වැටුප් කොමිෂන් සභාවෙන් රජයේ සේවකයන් වෙත දීමට නියමිත වැටුප් වැඩිවීම ගෙවීමට ආණ්ඩුව මුදල් වෙන් කර නොමැති බව සහ ඒ සඳහා ආණ්ඩුවට හැකියාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශ රාජ්‍ය සේවකයින්ව විහිළුවට ගෙන ඔවුන්ට කොකා පෙන්වීමට ගත් බොළඳ උත්සාහයක් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කෙෂාල් ජයසිංහ පැවසී ය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ඊයේ (30) දෙහිවල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පාක්ෂික හමුවක දී ය.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...

විජිතගේ සහ හරිණිගේ දැනුම
‘‘රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාව අවුරුදු තිහකට වඩා පැරණියි. වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සොයන්න දෙදහස් දෙක අවුරුද්දෙ පත් කරපු තිස්ස දේවෙන්ද්‍ර වැටුප් කොමිෂන් සභාවේ ඉඳල දෙදහස් දහඅටේ පත්කරපු රණුකගේ කොමිෂන් සභාව දක්වා කොමිෂන් සභා මඟින් උත්සාහ කර තිබුණත් ඒ කොමිෂන් සභාවලට මේ ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් ලබා දීමට බැරි වුණා. ඒකට හේතුව තමයි දැනට ලංකාවේ පවතින රජයේ සේවක වැටුප් ක්‍රමය විවිධ අවස්ථාවල විවිධ සේවා කාණ්ඩවලට, ඔවුන්ගේ කේවල් කිරිමේ හැකියාව මත ලබා දුන් දීමනා මත රැඳි තිබීම.

මේ තත්ත්වයට ස්ථිරසාර විසදුමක් ලබා දෙන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ කොමිසම පත් කරේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්, උදය ආර් සෙනවිරත්න කොමිසමේ නිර්දේශ බල රහිත බව කියන්නේ, රාජ්‍ය පාලනය සම්බන්ධ තියෙන ව්‍යවස්ථාපිත නීතිය පිළිබඳ ඔවුන්ට තියෙන නොදැනීම නිසා.

කනගාටුවට කරුණ නම්...
රාජ්‍ය පාලනයේ දි තීරණ ගන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යි. ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය ගන්න තීරණ ව්‍යවස්ථාපිත නීතියට එකඟ නම් ඒවා ක්‍රියාවට නැංවීම  නිලබල තන්ත්‍රය සතු වැඩක්. රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නෙ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීරණය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යි අමාත්‍ය විජිත හේරතුයි අවබෝධ කරගන්න ඕනෙ. ජනාධිපතිටයි කැබිනට් මණ්ඩලයටයි ඒ බලය ලැබෙන්නේ ජනතාවගෙන්. මේක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය විධියට හඳුන්වන්නේ.

රාජ්‍ය පාලනය සම්බන්ධව ඔවුන්ගෙ ආධුනික බව වගේ ම නොදන්නා බව ඔප්පු කරමින් විජිත ‌හේරත් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර තිබුණේ ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබිල තිබුණෙ නෑ කියල. ව්‍යවස්ථානුකූලව ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පමණක් බව කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වෙන විජිත ‌හේරත් හෝ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියකු වෙන ආචාර්ය හරිනි අමරසූරිය හෝ නොදැන සිටිම කනගාටුවට සහ විහිළුවට කරුණක්.

ලංකාවේ පුරවැසි අධ්‍යාපනයට නමය සහ දහය වසරවල උගන්වන කරුණුවත් මෙම උගතුන් නොදැන සිටීම ඇත්තට ම මාලිමා ඡන්ද දායකයන්ට කරන අවමානයක්. අවසානයේ සිද්ද වෙලා තියෙන්නෙ පසුගිය මැතිවරණයෙ දි රජයේ සේවකයන් අති බහුතරයක් මාලිමාවට ඡන්දය පාවිච්චි කරල තමන්ගේම වළ තමන්ම කපා ගැනීමක්.''

මෙම කරුණු සනාත කිරීම සඳහා උදය ආර් සෙනවිරත්න කොමිෂන් සභාවේ වාර්තාව සහ අදාළ කැබිනට් තීරණය ද කෙෂාල් විසින් ඉදිරිපත් කර තිබිණ.

(සටහන -චමින්ද හේවගේ)

©2024 All rights reserved.