මාලිමාව රජයේ සේවකයන්ට කොකා පෙන්වීම දැන්වත් නතර කළ යුතුයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ උදය ආර් සෙනවිරත්න වැටුප් කොමිෂන් සභාවෙන් රජයේ සේවකයන්ට දීමට නියමිත වැටුප් වැඩිවිම ගෙවිමට ආණ්ඩුව මුදල් වෙන් කර නොමැති බවටත් ඒ සඳහා ආණ්ඩුවට හැකියාවක් නැති බවටත් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශ රාජ්‍ය සේවකයින්ව විහිළුවට ගෙන ඔවුන්ට කොකා පෙන්වීමට ගත් බොළඳ උත්සාහයක් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කේෂාල් ජයසිංහ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (30) පැවති එක්සත් ජාතික පාක්ෂික හමුවකදී පැවසීය.

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවය අවුරුදු 30කට වඩා පැරණි වන අතර වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් සෙවීමට 2002 වසරේ පත් කළ තිස්ස දේවෙන්ද්‍ර වැටුප් කොමිෂන් සභාවේ සිට 2018 පත් කළ රණුකගේ කොමිෂන් සභාව දක්වා කොමිෂන් සභා මඟින් උත්සහ කර තිබුණ නමුත් කොමිෂන් සභාවලට මෙම ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් ලබා දිමට නොහැකි වි තිබුණ බවත් කේෂාල් ජයසිංහ පැවසීය.

එයට හේතු වී ඇත්තේ දැනට ලංකාවේ පවතින රජයේ සේවක වැටුප් ක්‍රමය විවිධ අවස්ථාවල විවිධ සේවා කණ්ඩවලට ඔවුන්ගේ කේවල් කිරිමේ හැකියාව මත ලබා දුන් දීමනා මත රැඳි තිබීම නිසා බවයි ඔහු සඳහන් කළේ.

මේ තත්ත්වයට ස්ථිරසාර විසදුමක් ලබා දිමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි අධිෂ්ඨානයක් තිබුණ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ කොමිසම පත් කළ බවත් පැවසූ කේෂාල්, ආග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා විජිත හේරත් මහතා, උදය ආර් සෙනවිරත්න කොමිසමේ නිර්දේශ බල රහිත බව පවසන්නේ ඔවුන්ගේ රාජ්‍ය පාලනය සම්බන්ධ ඇති ව්‍යවස්ථාපිත නීතිය පිළිබඳ නොදැනීම නිසා බවද පැවසීය.

රාජ්‍ය පාලනයේදි තීරණ ගනු ලබන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වන අතර ජනාධිපති හා කැබිනට් මණ්ඩලය ගනු ලබන තීරණ ව්‍යවස්ථාපිත නීතියට එකඟ නම් එය ක්‍රියාවට නැංවීම නිලබල තන්ත්‍රය සතු කාර්යයක් බව පැවසූ කේෂාල් තවදුරටත් පැවසුවේ රජ්‍ය ප්‍රතිපත්තිය යනු ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීරණය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් අවබෝධ කරගත යුතු බවයි.

ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට එම බලය ලබෙන්නේ ජනතාවගෙන් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය ලෙස හඳුන්වන්නේ මෙය බවද කේෂාල් අවධාරණය කළේය.

රාජ්‍ය පාලනය සම්බන්ධව තම ආධුනික බව සහ නොදන්නා බව ඔප්පු කරමින් විජිත ‌හේරත් හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර තිබුණේ ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබි නොතිබු බවයි. ව්‍යවස්ථානුකූලව ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පමණක් බව කැළණි විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන විජිත ‌හේරත් හෝ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරිනියෙකු වන ආචාර්ය හරිනි අමරසූරිය හෝ නොදැන සිටිම කණගාටුවට සහ විහිළුවට කරුණක් බව ද කේශාල් පැවසීය.

ලංකාවේ පුරවැසි අධ්‍යාපනයට 09 හා 10 වසරවල උගන්වන කරුණුවත් මෙම උගතුන් නොදැන සිටීම මාලිමා ඡන්ද දායකයන්ට කරන අවමානයක් බව පැවසූ කේෂාල් අවසානයේ සිදු වි ඇත්තේ රජයේ සේවකයන් අති බහුතරයක් පමණ පසුගිය මැතිවරණයේ මාලිමාවට ඡන්දය පාවිච්චි කර තමන්ගේම වල තමන්ම කපා ගැනීම බවද පැවසීය.

 

©2024 All rights reserved.